නවකතාව (කොටස් අංක 3)

 අල්ලපු ගෙදර 


"අප්පොච්චියේ මැණික් ගලක් නේද.....වාසනාව දෙයියනේ වාසනාව. අප්පේ අලුත් නෝනගෙ වාසනාව දෙයි හාමුදුරුවනේ"


මුදලාලි මහත්තයා තම පෙම්වතිය සමඟ පෝරුවේ චාරිත්‍ර සිදුකරනා විට මුදලාලිගේ පතලයකින් කෝටි ගණනක් වටිනා මැණිකක් හමුවී ඇති අතර "අල්ලපු ගෙදර" මේ සුබ ආරංචිය අල්ලපු ගමට තම මංගල්‍යය වෙනුවෙන් ගිය මුදලාලි හට පැවසීමට කඩිමුඩියේ දිව ගියේ ය.

-----------

"නෝනෙ...නෝනෙ, කහට ටිකක් ගේනව ද"?


"කොහොමින් කොහොමහරි නෝනේ වෙඩිම නං ගජරාමෙට ගත්තා.අප්පේ මුදියන්සේ හාමුදුරුවො ද, දේසපාලන උන්නැහැල ද බලන්ඩ එපෑ. ඒ මදිවට වාහන පෝලිම මං මගෙ ජීවිතේට දැකලා නෑ ඕන්".


"මේං කහට වක්කරා.ගමේ ගෑණු ටිකනෙ බලන්ඩ ඕනි.උන්ටත් ඉතින් කන්ඩ එහෙම දෙනවනං ඕනි මගුලක්".

 "අපිට ගෑණුන්ගෙං වැඩක් නෑ යෝදියෙ.හැබැයි මහත්තයගෙ ප්‍රියංකා නෝනා හැබැහින් දකින දිවියාංගනාවක් ම තමයි ඕන්".


"සිරියාවන්ත නෝනෙක් නං තමයි".


---------------------------

දින සති ගෙවී ගොස් මනමාලිය මුදලාලිගේ නිවසට පැමිණ මාස කිහිපයක් ගත විය.

වෙනදා මෙන් අදත් "අල්ලපු ගෙදර" මුදලාලිගේ නිවසට මුර රාජකාරිය සඳහා පැමිණියේ ය.


"හප්පේ මොනවද මේ අහසෙ ඇඳෙන එළි"....දැන් දවස් කීයක් නං දැක්ක ද? අනේ මන්දා"


පසුදා උදෑසන මුදලාලි නෝනා බුද්ධ වන්දනාවට නිවසේ බුදු කුටියට ඇතුළු වීමෙන් ආශ්චර්යමත් සිදුවීමක් සිදු වී ඇත. බුදු කුටියේ මල් වට්ටිය වෙත ධාතු කරඬුවක් වැඩම කිරීම එම ආශ්චර්යමත් සිදු වීමයි. මේ බව සැල වූ වහාම පන්සලේ නායක ස්වාමීන් වහන්සේ බුලත් මුදලාලිගේ නිවසට පැමිණියේ මේ අතරතුර ය.


"ඇත්‍තටම මුදලාලි මහත්‍තයෝ ධාතු කරඬුවක් එහෙම ආවට ගියාට වඩින්නෙ නෑ. හොඳට බුදු හාමුදුරුවන්ගෙ අනුහසින් ඒ වත් පිළිවෙත් වෙන්ට ඕනැ.අපේ මුදලාලි හාමිනේ ඉතින් බැලුවොත් පන්සලේ.නැත්තං ගෙදර බුදු පහන ද, බුද්ධ පූජාව ද, ගාථා ටික පවා මහ සද්දෙන් ශ්‍රද්ධාවෙන් ඒ වැඩ ඔක්කොම කොරනවනෙ.....වත් පිළිවෙත් හොඳින් වෙනවනං තමයි මහත්‍තයො දෙවියන්ගෙ උනත් බැල්ම වැටෙන්නෙ".


"එහෙමයි අපේ හාමුදුරුවනේ"


-----------------------

 මුදලාලි මහත්තයගේ හිත හොඳ කම නිසාවෙන් ම මුදලාලිගේ පිහිට පතා පැමිණෙන මිනිසුන් දිනපතා මුදලාලිගේ නිවසට රැස් වේ. ඒ මිනිසුන්ට පිහිටක් වෙමින් ඔවුන්ගේ කුසගින්න පවා නිවා දැමීමට මුදලාලි මෙන්ම මුදලාලි නෝනා කටයුතු කරන්නේ හදපිරි සතුටකිනි. මුදලාලිගේ පිහිට පතා එන මිනිසුන් මෙන්ම මුදලාලිගේ මිතුරන්, ව්‍යාපාරිකයන් ද තම නිවසට පැමිණිය ද සියලු දෙනාටම එක සේ සැලකීමට මුදලාලි අමතක කරන්නේ නැත.

මේ සියල්ලටම විශාල වශයෙන් අතහිත තම බිරිඳගෙන් තමාට නොඅඬුව ලැබෙන බව මුදලාලි හොඳින්ම දන්නා කරුණ කි.


"අපේ මහත්තයා, මටත් හිතෙනවා කාන්තා සමිතියක් ගමෙන් පටන් ගන්න.එතකොට මට පුලුවන් ගමේ ගෑණු අයට  තියෙන ප්‍රශ්න විසඳගන්න".


"මගේ විරුද්ධත්වයක් නෑ ප්‍රියංකා.මමත් මේ කල්පනා කරේ ගමට ඉස්කෝලෙකුයි ගමේ පන්සලත් තව ටිකක් දියුණු කරානම් හොඳයි කියලා".


------------------


"මහත්තයා ....මහත්තයා.... ආහ් ප්‍රියංකා නෝනා, කෝ මහත්තයා"?


"දැන් එයි කුමාර උන්නැහැ"


"අප්පේ, ඕන් නෝනා තමයි මට කුමාර කියලා කතා කරේ. මහත්තයාට ඉතින් මම "අල්ලපු ගෙදරම තමා".


"ඒකෙන් කමක් නෑ කුමාර උන්නැහැ.මොකද මේ උදේ පාන්දරම මහත්තයා හොයන්නෙ ?...මුරකරලා දැන් මේ ගෙදර යනවා කියන්ඩ ද"?


"ඒකටත් එක්කම මේන් මේ ගස්වලින් වැටිච්ච අඹ ටික දෙන්ඩ ආවෙ නෝනා"


"ගොඩක් පිං උන්නැහැ"


"අප්පේ නෝනා මට මොකටද පිං. උදේ වෙද්දි වැටිලා තිබ්බ අඹ ටික නෙ ඉතින් මේ අරන් ආවෙ".


"මං මේ කිව්වෙ.... කුමාර උන්නැහැ මුරකරන දවසට විතරයි ද කොහෙ ගස්වල අඹ වැටෙන්නෙ"


"ඒ මොකෝ නෝනා ඒ"


"මං මෙහෙට ඇවිල්ලා මාස ගාණට අනිත් අය මුරකරලා යන දවසට අඹයක් තියා අඹ ලෙල්ලක්වත් නෑ කියලා කිව්වෙ"




Comments

Popular posts from this blog

.......රිදුම් මතකය

කෝවලන් හිමි නුඹ පතා,